රෝහල ගැන...

රිජ්වේ ආර්යා ළමා රෝහල ශ්‍රී ලාංකීය ළමුන් සඳහා තෘතීක වෛද්‍ය සත්කාර සේවා සපයන ප්‍රධානතම රෝහල වේ. එමෙන්ම කොළඹ නගරය ඒ අවට ජීවත්වන ළමුන් සඳහා ප්‍රාථමික වෛද්‍ය සත්කාර සේවාවන් සිට ඉහලට සියලු ආකාරයේ සේවාවන් සපයනු ලැබේ.

බාහිර රෝගී සත්කාර සේවාවන් :

මෙම රෝහලේ බාහිර රෝගී අංශය සහ හදිසි අනතුරු ප්‍රතිකාර අංශය දවසේ පැය 24 පුරවටම, අවුරුද්දේ සියලු දිනයන්හි ප්‍රතිකාර සේවාවන් සඳහා විවෘතව ඇත. එමෙන්ම අභ්‍යන්තර රෝගී අංශ සහ අනෙකුත් විශේෂිත අංශ මගින් ප්‍රතිකාර ලබූ සහ ප්‍රතිකාර ලැබීමට බලාපොරොත්තුවන ළමුන් සඳහා පවත්වනු ලබන විශේෂඥ වෛද්‍ය සායනද බාහිර රෝගීන් සඳහා පවත්වනු ලැබේ.

බාහිර රෝගී සේවාවන් වඩා කාර්යක්ෂම හා වඩා පලදායි ලෙස ලබාදීම සඳහා හදිසි ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය රසායනාගාරයක්, ප්‍රතිශක්තිකරණ ඒකකයක්, පාචන රෝගී ප්‍රතිකාර ඒකකයක් සහ උණ රෝගී ප්‍රතිකාර ඒකකයක් බාහිර රෝගී අංශය තුලම පිහිටුවා ඇත.

අභ්‍යන්තර රෝගී සත්කාර සේවාවන් :

දැනට මෙම රෝහල ළමා කායික රෝග එකක/වාට්ටු 6කින් හා ළමා ශල්‍ය එකක/වාට්ටු 4කින් යුක්ත වේ. එමෙන්ම විශේෂිත එකක ලෙස හෘද රෝග හා හෘද උරස් ශල්‍ය, අක්ෂි රෝග, උගුර කන නාස රෝග, චර්ම රෝග, ස්නායු රෝග, වකුගඩු රෝග, විකලාංග, මානසික රෝග, රක්තවාත රෝග, පිළිකා රෝග, ප්ලාස්ටික් වෛද්‍ය, පිළිස්සුම් හා විකලාංග දන්ත යන එකකයන්ගෙන් යුක්ත වේ.

මීට අමතරව විකිරනවේද, ව්‍යාධිවේද, රක්තවෙද, ක්ෂුද්‍රජීවවේද හා නිර්වින්දන වෛද්‍ය යන ඒකකයන් රෝග නිශ්චය කිරීමේදී හා ශල්‍ය ප්‍රතිකාර වලදී ඉහත අභ්‍යන්තර මෙන්ම බාහිර රෝගී අංශයන් සඳහා මනා පිටිවහලක් වේ.

අතීතයෙන් බිඳක්...

1895, ජනවාරි 17 - ඇදන් 50කින් සමන්විත නව ළමා හා මාතෘ රෝහලක් සඳහා, බොරැල්ලේ මරදාන පාර ආසන්න හිස් ඉඩමක, එවකට ලංකාවේ ආණ්ඩුකාර තුමා විසින් මුල්ගල තබනු ලැබීම. මහජනතාවගේ හා දානපතියන්ගේ පූර්ණ සහයෝගයෙන් රුපියල් 46,000ක පමණ අරමුදලක් එක්රැස් වූ අතර ඉදිකිරීම් කටයතු ඊළඟ වසර තුල අවසන් කිරීමට හැකිව ඇත.

1896, ඔක්තෝබර් 12 - එවකට ලංකාවේ ආණ්ඩුකාර වරයාගේ ආර්යාව වූ රිජ්වේ ආර්යාව විසින් නව ළමා හා මාතෘ රෝහල උත්සවශ්‍රීයෙන් විවෘත කරනු ලැබීම. රෝහල ආරම්භ කිරීමට පුරෝගාමී සේවාවක් කල කලින් සිටි ආණ්ඩුකාර ආර්යාව සිහිවනු වස් මෙම රෝහල "හැවුලොක් ආර්යා ළමා හා මාතෘ රෝහල" ලෙස නම්කරනු ලැබීය.

1909, පෙබරවාරි 26 - රෝහල තුල ළමුන් සඳහා වෙනම ඒකකයක් (ගොඩනැගිල්ලක්) ඉදිකිරීම සඳහා එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා විසින් මුල්ගල තැබීම. මේ සඳහා අරමුදල් එක්රැස් කිරීමේ කාර්ය සඳහා රිජ්වේ ආර්යාව මහත් කැපවීමෙන් ක්‍රියා කර ඇත.

1910, සැප්තැම්බර් 27 - රෝහල තුල "රිජ්වේ ආර්යා ළමා ඒකකය" නමින් ළමුන් සඳහා වූ වෙනමම ඒකකයක් උත්සවශ්‍රීයෙන් විවෘත කරනු ලැබීම.

1937 - රෝහලේ ප්‍රථම සුදුසුකම් ලත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හා කාර්ය භාර ප්‍රධාන වෛද්‍යවරයා ලෙස වෛද්‍ය L.O. අබේය්රත්න මහතා පත්වීම.

1950 - ශ්‍රී ලංකාව 1948 දී නිදහස ලැබීමෙන් පසු එවක සෞඛ්‍ය අමාත්‍යංශය මෙම රෝහල තවදුරටත් පුළුල් කිරීමට ප්‍රතිපත්ති සකසන ලදී. ඒ අනුව රෝහලේ ඉදිවූ නව වාට්ටු සංකීරණය 1950දී විවෘත කරනු ලැබීය.

1954 - කාන්තාවන් සඳහාම විශේෂිත රෝහලක් ලෙස අසල්වැසි පෙදෙසක වර්ෂ 1954දී කාසල් වීදියේ කාන්තා රෝහල ඉදිවීමත් සමගම මෙම රෝහල මගින් කාන්තාවන් සඳහා සේවා ලබාදීම තවදුරත් සිදු නොවීය. එමෙන්ම "හැවුලොක් ආර්යා ළමා හා මාතෘ රෝහල" යන නමද භාවිතයෙන් ඉවත්වූ අතර, මෙම රෝහල ළමුන් සඳහාම විශේෂිත රෝහලක් ලෙස "රිජ්වේ ආර්යා ළමා රෝහල" නමින් දිනෙන් දින දියුණුවට පත්විය.

1957 - රෝහලේ නව බාහිර රෝගී අංශය විවෘත කරනු ලැබීම.

2000 - චීන රජයේ මූල්‍ය දායකත්වයෙන් ඉදිවූ, මහල් නමයකින් සැදුම්ලත්, මෙම රෝහලේ වර්තමාන ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කිරීම. (තවත් තොරතුරු...)



ඡායාරූප එකතුව:

වෙබ් අඩවි විලාසය:

A  B  C  D  E  F  G  H

පරිශීලක අංකය: 224012

සම්බන්ධවන්න:



ප්‍රකාශන හිමිකම © 2013-2014 රිජ්වේ ආර්යා ළමා රෝහල | නිර්මාණය: HIRU@LRH (සෞඛ්‍යය තොරතුරු හා පර්යේෂණ ඒකකය) | අවසන් යාවත්කාලීන කිරීම: 2015-12-01